ලීෂ්මේනියාසිස් (Leishmaniasis) රෝගය පිළිබඳව දැනුවත් වෙමු
ලීෂ්මේනියා (Leishmania) විශේෂ 20කට අධික සංඛ්‍යාවකට අයත් ප්‍රොටෝසෝවා පරපෝෂිතයෙකු (protozoan parasite) මගින් ලීෂ්මේනියාසිස් රෝගය ඇති කරයි. මෙම ලීෂ්මේනියා පරපෝෂිතයන් වැලි මැස්සන් (sandflies) විශේෂ 90කට අධික සංඛ්‍යාවක් මගින් ව්‍යාප්ත වන බව හඳුනාගෙන ඇත. මෙම රෝගය ප්‍රධාන ආකාර තුනකින් දැකිය හැකිය:
ලීෂ්මේනියාසිස් හි ආකාර
විසරල් ලීෂ්මේනියාසිස් (Visceral leishmaniasis)
සාමාන්‍යයෙන් "කාලා-අසාර්" (kala-azar) ලෙස හැඳින්වෙන විසරල් ලීෂ්මේනියාසිස් (VL) රෝගය, ප්‍රතිකාර නොලැබුණහොත් 95%කට අධික අවස්ථාවලදී මාරාන්තික විය හැක. වරින් වර ඇතිවන උණ, ශරීරයේ බර අඩුවීම, අක්මාව සහ ප්ලීහාව විශාල වීම සහ රක්තහීනතාවය (ලේ හිඟකම) මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වේ. ඉන්දියාව, බ්‍රසීලය සහ නැගෙනහිර අප්‍රිකාව තුළ මෙම රෝගී අවස්ථා බහුලව වාර්තා වේ. සෑම වසරකම ලොව පුරා VL රෝගීන් 50,000ත් 90,000ත් අතර සංඛ්‍යාවක් අලුතින් වාර්තා වේ. ශ්‍රී ලංකාව තුළද ඉතා කලාතුරකින් මෙම රෝගී අවස්ථා වාර්තා වී ඇත. මෙය ව්‍යාප්ත වීමේ සහ මරණයට හේතු වීමේ හැකියාව සහිත රෝගයකි.
කියුටේනියස් ලීෂ්මේනියාසිස් (Cutaneous leishmaniasis - CL)
වඩාත් බහුලව දක්නට ලැබෙන වර්ගය වන කියුටේනියස් ලීෂ්මේනියාසිස් (CL), ශරීරයේ නිරාවරණය වී ඇති කොටස්වල සම මත තුවාල (ප්‍රධාන වශයෙන් වණ) ඇති කරයි. මේවා නිසා දරුණු ආබාධිත තත්ත්වයන් හෝ සමාජීය වශයෙන් අපහසුතාවයට පත්වන තත්ත්වයන් (stigma) මෙන්ම ස්ථිර කැළැල් ඇති විය හැක. CL රෝගීන්ගෙන් 95%ක් පමණ වාර්තා වන්නේ ඇමරිකානු කලාපය, මධ්‍යධරණී කලාපය, මැද පෙරදිග සහ මධ්‍යම ආසියාව යන ප්‍රදේශවලිනි. සෑම වසරකම ලොව පුරා නව රෝගීන් 600,000ත් මිලියනයක් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවට ඇස්තමේන්තු කර ඇත. ශ්‍රී ලංකාවේ සෑම වසරකම වාර්තා වන කියුටේනියස් ලීෂ්මේනියාසිස් රෝගීන් 3,000කට අධික සංඛ්‍යාවෙන් බහුතරයක් අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, හම්බන්තොට, මාතර, මාතලේ සහ තවත් දිස්ත්‍රික්ක රැසකින් වාර්තා වේ.
මියුකෝකියුටේනියස් ලීෂ්මේනියාසිස් (Mucocutaneous leishmaniasis)
මියුකෝකියුටේනියස් ලීෂ්මේනියාසිස් මගින් මුඛය, උගුර සහ නාසයේ ඇති ශ්ලේෂ්මල පටල (mucous membranes) අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විනාශ විය හැක. මෙම රෝගී තත්ත්වය බහුලව (90%කට වඩා වැඩි ප්‍රමාණයක්) වාර්තා වන්නේ බ්‍රසීලය, ඉතියෝපියාව, පේරු සහ බොලිවියාව (Plurinational State) යන රටවලිනි. ශ්‍රී ලංකාව තුළ මෙම රෝගී තත්ත්වය වාර්තා වී නොමැත.
රෝගය පැතිරීම
බිත්තර දැමීම සඳහා රුධිරය උරා බොන ගැහැණු ෆ්ලෙබොටොමයින් (Phlebotomine) වැලි මැස්සන් දෂ්ට කිරීම මගින් ලීෂ්මේනියා පරපෝෂිතයා බෝ වේ. මිනිසුන් ඇතුළුව සත්ත්ව විශේෂ 70ක පමණ ශරීර තුළින් මෙම පරපෝෂිතයින් සම්ප්‍රේෂණය විය හැක.